තරු පංතියේ හෝටලේකට යන්න බයද? මේ කාරණා 10 දැනගෙන යන්න

තරු හෝටලයක් කිව්වහම හිතට එන හැඟීමක් තියෙනවනේ. ඒ කියන්නේ තරු හෝටලයක් කිව්ව ගමන් එක පාරටම හිතෙනවා ඕවා අපිට සෙට් වෙන තැන් නෙවෙයි බ්‍රෝ වගේ හැඟීමක්. එහෙම කිව්වට ඇත්තටම ඒක නිකං ආසයි බයයි වගේ එකක්. අපේ අනිවා කියවන යාලුවෙකුත් ලඟදි ලියලා එව්වා ගොඩක් වෙලාවට බයයි තරු හෝටලේකට යන්න, මොනවහරි වරදියි කියල. වැරදුනොත් චාටර් වෙයි කියල බයයි. හැබැයි මතක තියාගන්න ඕන කතාව මේකයි. තරු හෝටලේකට වුනත් යන්නෙ එන්නේ, තරු හෝටලේක වැඩ කරන්නේ අපි වගේම මිනිස්සු. මේ කියන්න යන කරුණු කාරණා ටික ඔලුවේ තියාගත්තොත් තරු හෝටලේකට යන්න බය වෙන්න ඕනෙත් නෑ, තරු හෝටලේකට ගිහින් නිදහසේ එන්ජෝයි කරලා එන්න හිතේ අවුලක් තියාගන්න ඕන වෙන්නෙත් නෑ.

1. ලැන්ග්වේජ් පුතා ලැන්ග්වේජ්!
දැන් ඔය සුපිරි හෝටලේකට යන්න කලින් රිසවේෂන් එකක් දාන්න කියලා කෝල් එකක් ගත්තු ගමන් සුමිහිරි කටහඬක් තියෙන අක්කියෙක් කතා කරලා කොටාගෙන කොටාගෙන යන්නෙ කඩ්ඩෙන් නෙව. සමහරු ආයුබෝවන් කියලම කඩ්ඩෙන් කොටන්න පටන් ගන්නවා. ඉතින් සාමාන්‍යයෙන් කට්ටිය ඔය තරු හෝටල් වලට යන්න බය වෙනවා කඩ්ඩ අවුල් නිසා. හැබැයි ඉතින් කාරණාව මෙහෙමයි. තරු හෝටල් වල නතර වෙන්න එන්නේ ලංකාවේ මිනිස්සු විතරක් නෙවෙයිනේ. වැඩිහරියක් විදේශිකයෝ. ඒ නිසා ප්‍රධාන වශයෙන් තරු හෝටලේක වැඩ කටයුතු ජාත්‍යන්තර බාසාවෙන් වෙන එකට අපිට මොකුත් කියන්න බෑ. හැබැයි එහෙමයි කියලා තරු හෝටලේකට යනවනං ඊට කලින් ඉංග්‍රීසි කතා කරන්න උගන්නන කඳවුරකට ගිහින් එන්න ඕන කියල නියමයක් නෑ. ඇත්ත කතන්දරේ මේවල ඉන්නෙත් අපි වගේම ලංකාවේ මිනිස්සු. සට සට ගාලා ඉංග්‍රීසියෙන් කතා කලත් හොඳට සිංහල තේරෙන ඈයෝ. ඉතින් තරු හෝටලේකට ගිහින් අමු සිංහලෙන් කතා කලා කියලා ඒ මිනිස්සු අපි දිහා ඔරෝලා බලන්නෙ නෑ. අපිව ගණන් නොගෙන ඉන්නෙත් නෑ. සිංහලෙන් කතා කලොත් හොඳට සිංහලෙන් කතා කරයි. ඒ නිසා මේ භාෂා ප්‍රශ්නෙත් එක්ක තරු හෝටලේකට යන්න තියෙන බොරු බය නැති කරගන්න කියලා තමයි අපි කියන්නේ.

2. බඩු උස්සගෙන යන්න හදනවා නෙවෙයි!
සාමාන්‍යයෙන් ලොකු හොටෙල් එකක වැලේ පාකින්ග් තියෙනවා. එහෙම නැතත් වාහනේකින් හෝටලේට ගියහම හරි විදිය තමයි තව වාහනේකට ඩ්‍රයිව් වේ එකේ එන්න ඉඩ තියලා අයින් කරලා පාක් කරලා බඩු ටික ගන්න වාහනේ ඩිකිය අරින එක. වැලේ පාකින්ග් තියෙනවා නං බඩු ටික ගත්තහම යතුර දෙන්න පුලුවන් වැලේ මහත්තයට. එහෙම නැත්තං ඉතින් කාර් පාක් එකට ගෙනිහින් පාක් කරලා තියන එක තමයි හොඳ. දැන් වාහනේ ඩිකිය ඇරපු ගමන් බෙල්හොප් නැත්තං පෝටර් කියලා කියන මහත්තයෙක් දුවගෙන එයි බඩු ටික ගන්න. එතකොට ඒ මනුස්සයා හොරකමකට ආවා වගේ මූණ බලලා බඩු ටික උදුර ගන්න යන්න එපා. බඩු ටික අරගෙන යන එක ඒ මනුස්සයගේ ජොබ් එක. ඒ නිසා ඉස්තුතී කිව්වට පාඩුවක් නෑ. තමන් අතේම තියාගන්න ඕන මොකක් හරි තියෙනවා නං ඒක ආචාරශීලීව කියලා තමන්ගේ අතට ගන්න.

අනිත් එක අපි ඔය හොලිවුඩ් ‍ෆිල්ම් වල එහෙම දකිනවනේ තමන්ගේ බඩු ටික ගෙනැත් දෙන බෙල්හොප්ට පොඩි ටිප් එකක් දෙන්නම ඕනේ කියලා. ඕක මෙහෙමයි. ලංකාවේ හෝටල් වලත් ඉතින් තමන්ට උදපදවු කරන මනුස්සයෙක්ට පොඩි ටිප් එකක් දුන්නට කිසීම වරදක් නෑ. හැබැයි ටිප් එක නොදුන්නා කියලා ඒ මිනිස්සු අපිත් එක්ක තරහ වෙන්නෙත් නෑ.

3. හෝටලේට ආපු ගමන් වලි දාගන්න එක හරි නෑනේ!
සාමාන්‍යයෙන් තරු හෝටලේකට කොයි විදියට එන මනුස්සයෙක්ට වුනත් ඒකේ වැඩ කරන අය බොහෝම ආචාරශීලීව තමයි සලකන්නේ. ඒ නිසා හොඳ පුරුද්ද තමයි අපිත් ඒ ආචාරශීලී බවෙන්ම සංග්‍රහ කරන එක. සමහර විට සෙනඟ වැඩි දවසක් නං ෆ්‍රන්ට් ඩෙස්ක් එක ගාව පොඩ්ඩක් ඉන්න වෙයි අපේ වාරේ එනකල්. ආන්න එතකොට මූලග්ගිනි කාරයෙක් වගේ හැසිරෙන එක කැතයි. ඉවසීම තියෙන්න ඕන. සමහර වෙලාවට ටිකක් දිග ෆෝම් පුරවන්න තියෙනවා. ඒක අපිට පුරවන්න දුන්නොත් අහන්න එපා ඇයි ඔයාට පුරෝගන්න බැරිද කියලා. ෆෝම් එක පුරවන එක අමුත්තන්ගේ රාජකාරිය.

අනික් කාරණාව, බැක් ‍ටු බැක් බුකින්ග්ස් තියෙන වෙලාවක අපි ආපු ගමන් සමහර වෙලාවට රූම් එක දෙන්න බැරි වෙන්න පුලුවන්. ඒකට හේතුව එක ගෙස්ට් කෙනෙක් ඉඳලා ගියාට පස්සේ තව ගෙස්ට් කෙනෙක්ට ෆ්‍රෙෂ් පිට රූම් එක දෙන්න පුලුවන් විදියට සකස් කරන්න යම් වෙලාවක් යනවා. එතකොට හොටෙල් එකේ කට්ටිය අපිට කියයි ලොබි එකට වෙලා රිලැක්ස් එකේ ඉන්න කියලා. වෙල්කම් ඩ්‍රින්ක් එකක් එහෙමත් දෙයි. දැන් බලාගෙන ඉන්න වුනා කියලා ගස්සන්න පුප්පන්න යන්න එපා. රිලැක්ස් එකේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. ඕන නං රවුමක් දාලා බලන්න හෝටලේ.

4. තමන්ගෙ වුවමනා එපාකම් කියන්න බය වෙන්න එපා!
අපි හෝටලේකට ගියහම ගෙදර ඉන්න විදියට ඉන්නෙ නෑනේ. ඒ කියන්නේ අපි කොමන් ඒරියා එකට ඇවිත් මේසයක් උඩ කකුල් තියාගෙන ඉන්න එක හරියන්නෙ නෑ. ඒවා ඉතින් පොදුවේ ඕනම මනුස්සයෙක්ට තියෙන්න ඕන ආචාර ධර්මනේ. හැබැයි හෝටලේකට ඇවිත් බය වෙලා හමුදා කඳවුරකට ගියා වගේ ඉන්න ඕනෙත් නෑ. ෂෝටක් ගහගෙන ඉන්න ඕන නං ෂෝටක් ගහගෙන ඉන්න. අපිට සැහැල්ලුවෙන් ගෙදරක ඉන්නවා වගේ ඉන්න පුලුවන් වටපිටාවක් නිර්මාණය කරලා දෙන්න තමයි ගොඩක් තරු හෝටල් වල ස්ටාෆ් එක වුනත් වෙහෙසෙන්නේ.

ඒ නිසාම මතක තියාගන්න, තමන්ගේ වුවමනා එපාකං හෝටලේ ස්ටාෆ් එකට දැනුම් දෙන්න. සාමාන්‍යයෙන් තරු පංතියේ හෝටල් කාමරේක ගෙස්ට් කෙනෙක්ට වුවමනා කරන හැමදේම වගේ තියෙනවා. ඒත් සමහර විට ඔබට විශේෂ යමක් වුවමනා වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අමතර තුවා. එහෙම නැත්තං එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. ඒවා හිතේ තියාගෙන ඉන්න එපා. හෝටල් සේවක මණ්ඩලේ අයට කියන්න. ඒ අය හැම මොහොතකම උපරිමයෙන් උදවු කරන්න සූදානම් වෙලා ඉන්නේ.

5. හෝටලෙන් බඩු ගල් කරන්න එපා පුතා!
සාමාන්‍යයෙන් තියෙන මතයක් තමයි අපි හෝටලේක රූම් එකක් සල්ලි දීලා ගත්තට පස්සේ ඒ රූම් එකත්, ඒ රූම් එකේ තියෙන හැමදේමත් අයිති අපිටයි කියන එක. ඒ හින්දම ගොඩක් දෙනෙක් හොටෙල් රූම් එකේ තියෙන පොඩි පොඩි අයිටම් බෑග් එකේ දාගෙන ගෙදර ගෙනියන්න පෙළඹෙනවා ඕන තරම් දකින්න පුලුවන්. ඇයි යන්න කලින් කවුරුත් ඇවිත් රූම් එක චෙක් කරන්නෙ නෑනේ අඩු මොනවද බලන්න. හැබැයි අපි කියන්නේ ඒක හරි නැති වැඩක් කියන එක තමයි.

හොටෙල් රූම් එකේ තියෙන දේවලින් අරන් යන්න පුලුවන් දේවල් තියෙනවා. ඒ කියන්නේ පොඩි සබන් කැට, ෂැම්පු හෙයාර් කන්ඩිෂනර් දාලා තියෙන පොඩි සැෂේ පැක්, ෂවර් ජෙල් පැක්, බොඩි ලෝෂන්, පෑනක් වගේ දේවල් අරගෙන ගියා කියලා කවුරුවත් මොකුත් කියන්නෙ නෑ. ඒවා කොහොමත් තියෙන්නේ ඔබේ පාවිච්චියට. හැබැයි කමිස දාන හැන්ගර්ස්, තුවා, ඇඳ රෙදි, කොට්ට, ඈෂ් ට්‍රේ වගේ අනෙක් කිසිම දෙයක් අරගෙන යන්න අපිට අයිති නෑ. ඒවා අයිති හෝටලේට.

6. ක්ලාස් එකට ඉන්න දැනගන්න ඕන
ගොඩක් අයට මේ ක්ලාස් කියන එක ගැන ඒ තරම් වැටහීමක් නෑ. සමහරු හිතනවා ක්ලාස් එක කියන්නේ සල්ලි තිබීම කියලා. සමහරු කියයි උගත්කම තියන එක කියලා. හැබැයි අපි ක්ලාස් එක කියන්නේ හොඳ, විනීත මනුස්සයෙක් විදියට හැසිරෙන්න කතාබහ කරන්න හැකියාවක් තියෙන එකට. ඩීසන්ට් ගෙස්ට් කෙනෙක් විදියට හෝටලේක හැසිරෙන්න පංති ගිහින් ඉගෙන ගන්න දෙයක් නෑ. මේවා කොමන් සෙන්ස්. උදාහරණයක් විදියට නිදහසේ ඉන්නවා කියලා අනික් ගෙස්ට්ලාට ඇණයක් වෙන විදියට කෑගහන්න, හූ තියන්න දඟලන්න යන්න හොඳ නෑ. ගෑල්ලමයෙක් දැක්ක ගමන් බලෙන් ගිහින් කතා කරන්න හොඳ නෑ. ලස්සන කොල්ලෙක් දැක්ක ගමන් පිස්සු වැටිලා වගේ ඌට වාත වෙන්න හොඳ නෑ. කොටින්ම තව ගෙස්ට් කෙනෙක්ට කරදරයක් වෙන්න හොඳ නෑ. එතකොට දොරවල් එහෙම දඩබඩාං ගාලා වහගෙන යන්න, බුෆේ එකට පෝලිමේ ඉන්නකොට තල්ලු කරන්න වගේ අනික් අයට කරදරයක් වෙන දේවල් කරන එක අවුල්. ඒ වගේම විශේෂයෙන්ම බීලා පිස්සු නටන එක එහෙම කරන්න හොඳ නැතිම දේවල්. හැබැයි කණගා‍ටුවට කාරණාව තමයි ගොඩක් වෙලාවට තමන් හෙන ක්ලාසි කියලා හිතාගෙන ඉන්න ඩයල් තමයි මෙහෙම හැසිරෙන්නේ. ගොඩක් වෙලාවට ඒ ලොකු කම නිසා. හැබැයි අපි ක්ලාස් එකක් තියෙන මනුස්සයෙක් නං ඉගෙන ගන්න ඕන ගෙදර වගේ කියලා හෝටලේක යකා නටන්නෙ නැතුව ඉන්න, තව මනුස්සයෙක්ට විනීත වෙන්න. ආන්න ඒකයි ක්ලාස් එක කියන්නේ. නැතුව ගණන් වැඩිම ෂැම්පේන් එක බොන ගමන් වේටර්ට පහත් විදියට බණින එක නෙවෙයි.

7. කාමරේ යකා නටන්න එපා
දැන් හෝටලේක කාමරයක් අපි බුක් කලාට පස්සේ “හවුස් කීපින්ග්” කියලා දෙයක් තියෙනවනේ. ඒ කියන්නේ සමහරු ඉන්නවා උදේට නැගිටලා ගෙදර පුරුද්දට ඇඳ නීට් එකට හදලා එනවා. ඒක හොඳයි. සමහරු ඉන්නවා ඇඳ එහෙමම තියෙද්දී එලියට යනවා. ඒකටත් අපි මොකුත් කියන්නෙ නෑ. මොකද හොටෙල් එකක දවසකට සැරයක් හෝ දෙකක් රූම් එක සුද්ධ පවිත්‍ර කරන්න, ඇඳන් පිළිවෙල කරන්න ස්ටාෆ් එක ඉන්නවා. හැබැයි එහෙම වුනා කියලා අපි කාමරේ යකා නටන එක අවුල්. ඒ කියන්නේ සමහරු කාමරේ අනවශ්‍ය විදියට අපවිත්‍ර කරනවා. බඩු භාණ්ඩ කඩනවා. ගෙදර අපි එහෙම කරන්නෙ නෑනේ. ඒ නිසා හොටේල් එකකට ආවා කියලා එහෙම කරන එකත් වැරදියි. සමහර වෙලාවට අත් වැරදීමකින් අපේ අතින් වීදුරුවක් බි‍ඳෙන්න, බඩුවක් කැඩෙන්න පුලුවන්. ඒක වහාම හෝටල් කාර්ය මණ්ඩලේට දැනුම් දෙන්න. සාමාන්‍යයෙන් එහෙම අත් වැරදීමකින් වෙන දේවලට ගෙස්ට්ලාගෙන් අලාබ අය කරගන්නෙ නෑ තරු පංතියේ හෝටලේක. බැරි වෙලාවත් එහෙම අය කළත් ඒක තමන්ගේ වැ‍රැද්දෙන් වුනු දෙයක්නේ. ඒ නිසා ඒක ගෙවලා දාන්න.

8. පූල් එක තියෙන්නේ රෙදි හෝදන්න නෙවෙයි බ්‍රෝ!
ඕනම තරු හෝටලේක පූල් එකක් තියෙනවනේ. ඉතින් අපි ඕන කෙනෙක් ආසයි එතකොට පූල් එකට පොඩ්ඩක් බැහැලා පොඩි ෆන් එකක් ගන්න. හැබැයි මේ පූල් ඒරියා එකේ පිස්සු නටන්න තියාගන්න එක වැරදියි. මොකද පූල් එක අපිට විතරක් නෙවෙයි අයිති, හෝටලේට එන අනික් ගෙස්ට්ලාත් පූල් එකට බහින්න ඕනනේ.

කාමරේ ඉඳන්ම ස්විමින්ග් ට්‍රන්ක් එක පිටින් නැත්තං බිකිනි එක පිටින් පූල් එකට එන එක හරි නෑ. ඕනම නං ටවල් එකක් හරි බාත් රෝබ් එකක් හරි බැරිමනං බීච් ක්ලෝත් එකක් හරි ඇඳගෙන එන්න. මොකද ගොඩක් වෙලාවට පූල් එකට එන්න ගෙස්ට්ලා ඉන්න කොමන් ඒරියාස් පහු කරගෙන එන්න වෙනවා. එතකොට විනීත බව තියෙන්න ඕනනේ.

පූල් ඒරියා එකේ වාඩි වෙලා ෂොට් එකක් දාන්න ඕන නං, පූල් එකට බැහැලා වයින් වීදුරුවක් බොන්න ඕන නං ඒක වේටර් මහත්තයෙක්ට හරි හෝටල් කාර්ය මණ්ඩලයේ වෙනත් කෙනෙක්ට හරි කියලා තියන්න. එතකොට වුවමනා දේවල් ඒ කට්ටිය එතනටම ගෙනැල්ලා දෙයි. හැබැයි ඉතින් එහෙමයි කියලා පූල් එකට බැහැලා ෂොට් එක දාන ගමන් බයිට් එකට චිකන් ඩෙවල් කාලා පූල් එකේ වතුරෙන් අත හෝදගන්නවා වගේ මැන්ටල් වැඩ කරන එක හරි නෑ. තව කාරණයක් තමයි පූල් එකට බහින්න සූදානමක් නැතුව ආතල් එකට පූල් සයිඩ් එකට වෙලා ෂොට් එක දාලා වැඩිවෙලා ඇඳුම් පිටින් පූල් එකට පෙරළෙන අය්යලත් අපි දැකලා තියෙනවා. ඒවා ඉතින් තමන් චාටර් වෙන වැඩ.

9. හැඳි ගෑරුප්පු හරඹ අනිවා නැහැ!
දැන් හොටෙල් එකක ගොඩක් වෙලාවට ලන්ච් ඩිනර් බ්‍රෙක්ෆස්ට් බුෆේ තමයි තියෙන්නේ. රූම් සර්විස් තියෙන්නේ කලාතුරකින්. හැබැයි රූම් සර්විස් ඕනම නං ඒක කියලා ඇරේන්ජ් කරගන්නත් කිසිම අවුලක් නෑ.

ගොඩක් වෙලාවට බුෆේ එකට රෙස්‍ටුරන්ට් එකට ගියහම ගොඩක් දෙනෙක් බයයි. ඇයි හැඳි ගෑරුප්පු හරඹ කරන්න වෙයි කියලා. එහෙම කිසීම ප්‍රශ්නයක් නෑ. අතින් කන්න ඕන නං වේටර් මහත්තයෙක්ට කියලා ‍ෆින්ගර් බෝල් එකක් ගෙනැත් අත් හොදගෙන කන්න පුලුවන්. ඒ ඇරෙන්න ඉතින් බුෆේ එකේ හැසිරෙන්න ඕන විදිය අපි අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑනේ. කොහොම වුනත් ප්‍රධානතම දේ තමයි රෙස්‍ටුරන්ට් එකට ගිහින් බයේ ගල්ටික් වෙලා ඉන්නෙ නැතුව හිත නිදහසේ කෑම ටික කන එක. බඩ පිරෙන්න වගේම හිත පිරෙන්න. ඒකට තමන්ට මිනිහෙක් ගෑණියෙක් විදියට තියෙන්න ඕන විනය තිබ්බහම ඇති. ඊට වඩා අමුතු සීන් කවුරුවත් බලාපොරොත්තු වෙන්නෙ නෑ. රෙස්‍ටුරන්ට් එකේ ඉන්න අනික් අය අපේ දිහා බලාගෙන ඉන්නෙත් නෑ.

10. හරි හැටි මනුස්සයෙක්ට ගරු කරන්න ඕන
තරු හෝටලේකට එන ගොඩක් මිනිස්සුන්ගේ ඔලුවේ තියෙනවා ලොකු මාන්නයක්. ඒ කියන්නේ තමන් හෙන ලොකුය, හොටෙල් එකේ වැඩ කරන අනික් හැමෝම තමන්ගේ අත පල්ලෙන් වැටිලය වගේ මානසිකත්වයක්. ආන්න ඒවා අවුල්. හැම මොහොතකම අපිට උදවු කරන්න සැදී පැහැදී ඉන්න හෝටල් කාර්ය මණ්ඩලයේ ලොකු පුංචි ඕනම මනුස්සයෙක්ට හිනාවෙන් සංග්‍රහ කරන්න පුරුද්දක් අපිට තියෙන්න ඕන. එතකොට මොනවා හරි උදවුවක් කරන්න කියලා කියනකොට “කරුණාකරලා” නැතිනං “ප්ලීස්” වගේ වචනයක් පාවිච්චි කරන්න, වචනෙකින් හරි අපිට කරන උදවුවකට “බොහොම ස්තුතියි” කියලා නැත්තං “තෑන්ක් යූ” කියලා එහෙම බැරිනං “තෑන්ක්ස්” කියලා හරි ස්තුති කරන්න පුලුවන් වෙන්න ඕන. ඇත්තටම මේවා තරු හෝටලේකට ඇවිත් කරන්න ඕන දේවල් නෙවෙයි. මිනිස්සු විදියට අපේ ජීවිතේ තියෙන්න ඕන සීලාචාරකං, හොඳ පුරුදු. ඉතින් මේ විදියට හැසිරෙනකොට ඔබට හිතාගන්න බැරි වෙයි මිනිස්සු කොයි තරම් ඔබට අනික් පැත්තට ගෞරව කරනවද, උදවු කරන්න සැදී පැහැදී ඉන්නවද කියලා. ඇත්තටම තරු පංතියේ හෝටලයක් වුනත් ඔබට බොහෝම සුහද, ප්‍රියමනාප මිනිස්සු ඉන්න, ගෙදර වගේ තැනක් කියලා හැ‍ඟෙයි මේ විදියට කටයුතු කලොත්.

එහෙමනං හැමෝටම සුපිරි හෝටලේක ගත වෙන හොඳ නිවාඩුවක්!

source >>> www.aniwa.lk